Monday 24 October 2011

මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....












නුවන් යුඟ දැවී දුක් කඳුළින් පිරුණ
කියන්නට නොහැකි තරමට හිත හඬන
දිනන්නට ලොවක් වෙත නුඹ යන ගමන
බලන්නට අනේ... මම අහලක නොවින


හුරු නොවී, තනිව කිසිවක් කරණු බැරී
දුරුවෙලා රටක, ඉගෙනුම කරනු සරී
බොරු නොවේ මටම අදහා ගන්න බැරි
ගුරු වුනා අපිට, නුඹ  කී දෑ සපිරී


පෙරුම් පුරා ගෙන ආ ලෙස වෙන්න ඇතී
හැඬුම් දෙඩුම් කඳුළින් දුක දොවා ගතී
පියුම් විලක් මැද සියපත් මුදු රුවැතී
උතුම් ගති සිරිත් දැන, ඉගෙනුමෙන් නිතී


පිරිවර නුඹේ ඇස් දැවටෙන මුත් නිතර
ගියවර මෙන් නොවේ මම තවමත් එතෙර
පියවර තබා නෙත් දල්වා දැන සතර
මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....

11 comments:

දියරළ said...

සිඩ්නි අය්යා තිළිනි දුවට ලියපු කවි පංතිය එදාට වැඩිය අදට හොදට ගැලපෙනවා නේද? ප්‍රියංගි අක්කේ

Chandi said...

නෙතට කදුලක් ඉනුවා සොයුරියේ මෙය දුටුවාම. දුවලටත්, පුතාලටත්, තෙරුවන් සරණින් ලොව දිනන්නට වාසනාව දිරිය ශක්තිය ලැබේවා කියල පතනවා.

Abeetha Edirisinghe said...

මේකනම් හරිම හොඳ වැඩක්, සිඩ්නි අයියා ලියපු කවි ඒ කාලෙ ඉදන් කියවපු අපට ඒ රසය දිගටම ලබාදීම....

මම ඔහුගේ නික්ම යෑම දැන ගත්තෙත් බොහොම මෑතකදි.... මේ පළවන කවි ඔහුට උපහාරයක්ම වෙවා...

විහඟ ගීතය said...

@ chandi

ස්තූතියි සොයුරිය,
සිඩ්නි විසින් ලියපු විහග ගීතයහි පල නොවු කවි සංකල්පනා ඉදිරියේදි පලකරන්න බල්පොරොත්තුවෙන් ඉන්නවා

විහඟ ගීතය said...

ස්තූතීයි අභීත සොයුර
ඔබ නැවතත් විහග ගීතයට පිවිසීමත් අපට ලොකු හයියක්

malmi said...

ඇසට කදුලක් එකතු කල කවි පෙලක්!!!

priyantha said...

ඔහුගේ නිර්මාණ සැමදාම බ්ලොග් අවකාශයේ පවතිනු ඇත. ඉතිරි නිර්මාණත් පළකරන මෙන් ඉල්ලා සිටිමි.

ගල්මල්-Coral said...

සිඩ්නි මහතා ලියූ මේ පදපෙල එතුමාගේ වියෝවෙන් පසුව කිහිප වරක්ම මතක් වුනා, කියෙවූවා.

මුල්ම සටහනේ ද කියා ඇති පරිදි මේ පදපෙල එදාට වඩා අදට ලියූවක් වගේ...

ඔබ හා දරුවන්ට ජීවිතයේ හැම පියවරයන්ම ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය හා දහිරිය පතනවා සහෝදරී. දරුවන් ඔහුගේ සිහිනයන් මල්පල ගන්වාවි.

සිඩ්නි මහතා කළ නිර්මාණ දිගටම පල කිරීමට ඇති ඔබේ අදහස ගොඩාක් අගේ කරනවා. ඔහු පෝෂණය කර කවි කවදත් රැඳේවි. ජය.

``` Outsider``` said...

ඇත්තටම හොඳයි. සිඩ්නි මහතාට කරන හොඳම උපහාරයක් එයාගෙ කවි මේ විදියට පල කිරීම.

දියරළ said...

සිඩ්නි අය්යා ලියපු දේවල් නැවත පලකරන එක ගොඩක් හොද දෙයක්

Anonymous said...

විහඟ ගීතය ක් නිහඬ වෙන්න නොදී , රැක ගන්න හදන නුඹට මගේ ස්තූතිය. ඔහු ලියූ නමුත් තවමත් නොපළ කවි නුඹේ ළඟ ඇති....

ඔහු වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ කටයුත්තක්.. සිටිනා තැනක සිට ඔහු ඔබ දෙස බලා ස්තූති කරාවි...