Thursday, 3 February 2011

නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද


හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී
ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී
නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී
මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී

සිහිනෙන් ගෑව සුවඳක් මෙන්  සිත ඇන්ද
විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද
සුපසන්  ඇල්ම ඇල්වී , බැමි දු‍ටුයෙන්ද
නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද

සියපත් සේ සුමුදු පිවිතුරු  පෙම බැන්ද
සුනරුත් වී නෙතට කඳුලක් වී බින්ද
නුඹ ලත් දුකම විඳි,  මම නොනිදා නින්ද
තවමත් ඒ සිහිනයෙම ගැල්වී මන්ද

හඬනා දුක දැනී කඳුළෙහි  පතුල නෙරා
කිපුනා  සොබා දහමත් රුදු ගතිය දරා
ගලනා ලෙස සයුර පරදින කඳුළ අරා
හැපුනා නිල්වලාවත් සිය ඉවුරු ඉරා

දිරියෙන්  දිරි දරා ජය ටැඹ වෙත ඇදෙන
නුඹවන් කෙනෙකු හට  එහි ඉනිමං බඳින
නොමවන්නට නොදී අවැඩක් හෝ සිතින
පුලුවන්නම් මටත් එය සතුටකී නිතින

4 comments:

රත්ගමයා said...

කවියන් කොමෙන්ට් කරන්න හිතුවත් අද බෑ වගේ..... ඔන්න අපි ආයේ ආවා.....ජය වේවා!!!!!!!

ගල්මල්-Coral said...

"දිරියෙන් දිරි දරා ජය ටැඹ වෙත ඇදෙන
නුඹවන් කෙනෙකු හට එහි ඉනිමං බඳින
නොමවන්නට නොදී අවැඩක් හෝ සිතින
පුලුවන්නම් මටත් එය සතුටකී නිතින"

බොහෝ වටිනා ඔවදනකි පැතුමකි...
ජය!

SRI MANJULA said...

සිනහා මුහුණ සිහිනෙන් වත් නොදුටුවම
විරහා දුක නිසැක වේ අවසනදි පෙම
තරහා නොගෙන කරනා සෝ සුසුම සම
නුඹහා හඬනු හැර මම වෙන කරමි කිම?????

විහඟ ගීතය said...

@ රත්ගමයා
@ ගල්මල්-Coral
@ SRI MANJULA

ඇවිත් ගියත් නිරතුරු පා සිනා වත
මටත් මේ දෙසට එන්නට වෙලා නැත
මහත් සතුටකිය දැකුමත් මෙලෙස මිත
අයෙත් මුනගැහෙමු දවසක නොවී ලත

රත්ගමයා වගෙම ගල්මල් දකිමි නිතින්
ශ්‍රි මංජුල දිටිමි, සතුටකි දැකුම ඉතින්
කොහි ලෙස කොහේ සැඟවී වැඩ අධික බැවින්
හිටියත් ඔබේ කවි මඟ දොර අගුළු හරින්